
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, වොෂින්ටන් හිල්ටන් (Washington Hilton) හෝටලයේ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්විණි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා, උප ජනාධිපති ජේඩි වැන්ස් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්, කොංග්‍රස් සභිකයන් සහ මාධ්‍යවේදීන් මෙම සම්භාවනීය අවස්ථාවට පැමිණ සිටියහ.
රාත්‍රී 8:40 ට පමණ හෝටලයේ ප්‍රධාන ආරක්ෂක පරීක්ෂණ කලාපය අසලදී හදිසියේම වෙඩි හඬ ඇසෙන්නට විය. ජනාධිපති ආරක්ෂක අංශ (සීක්‍රට් සර්විස්) සාමාජිකයෝ වහා ක්‍රියාත්මක වී ට්‍රම්ප් සහ මෙලානියාට අවශ්‍ය ආරක්ෂාව ලබා දී ඔවුන් ද සෙසමු සම්භාවනීය අමුත්තන් ද එතැනින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවලට රැගෙන යෑම සිදු කළහ. ආයුධවලින් සහ පිහිවලින් සන්නද්ධව පුද්ගලයකු හෝටලයට කඩා වැදී සිටියේය.
වෙඩි හුවමාරුවේ දී ඒක් නිලධාරියෙක් තුවාල ලැබීය. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව පැවැසෙයි.
ආයුධ සන්නද්ධව වෙඩි තබමින් හෝටලයට කඩා වැදුණේ කැලිෆෝනියාවේ පදිංචි 31 හැවිරිදි කෝල් තෝමස් ඇලන් (Cole Tomas Allen) නමැති අයකු බව පොලිසිය පසුව අනාවරණය කළේය.
කෝල් තෝමස් ඇලන් සතුව ෂොට්ගන් වර්ගයේ තුවක්කුවක්, පිස්තෝලයක් සහ පිහි කිහිපයක් තිබුණි. අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය වූයේ ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ නිලධාරීන්ට වෙඩි තැබීමට බවය.
ඇලන් ගුරුවරයකු සහ පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවකු බව ද අනාවරණය විය.
31 හැවිරිදි සැකකරු ඇලන්ගේ ලින්ක්ඩ්ඉන් (LinkedIn) ගිණුමට අනුව ඔහු C2 Education නැමැති උපකාරක පන්ති ආයතනයක අර්ධකාලීන ගුරුවරයකු ලෙස සේවය කරමින් සිට ඇත.
ඇලන් 2024 දෙසැම්බර් මාසයේදී එම ආයතනයේ මාසයේ හොඳම ගුරුවරයා බවට ද පත්විය. ඔහු 2017 වසරේදී කැලිෆෝනියා තාක්ෂණික ආයතනයෙන් (Caltech) යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර, පසුගිය වසරේදී පරිගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ගෙන ඇත.
ඇලන් ස්වාධීන පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර, 'Bohrdom' නමින් පරිගණක ක්‍රීඩාවක් ප්‍රසිද්ධ වෙළඳපොළට (Steam) ඉදිරිපත් කර ඇති බවත්, ඔහු First Law නමින් දෙවන පරිගණක ක්‍රීඩාවක් ද නිර්මාණය කරමින් සිට ඇති බවත් මාධ්‍ය අනාවරණය කරයි.
ෆෙඩරල් මැතිවරණ කොමිසමේ වාර්තාවලට අනුව, ඔහු 2024 ඔක්තෝබර් මාසයේදී කමලා හැරිස්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා ඩොලර් 25ක මුදලක් පරිත්‍යාග කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් එෆ්.බී.අයි (FBI) ආයතනය වැඩිදුර විමර්ශන පවත්වයි.
වොෂින්ටන් හිල්ටන් (Washington Hilton) හෝටලය ලෝක දේශපාලන ඉතිහාසයේ ඉතාමත් අවාසනාවන්ත මතකයක් තිබෙන තැනකි. මීට වසර 45 කට පෙර, එනම් 1981 මාර්තු 30 වැනිදා ඇමෙරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන් (Ronald Reagan) ට වෙඩි තැබුවේද හරියටම මේ ස්ථානයේදීමය. එදා ජෝන් හින්ක්ලි ජූනියර් (John Hinckley Jr.) නැමති තුවක්කුකරුවකු එල්ල කළ ප්‍රහාරයෙන් රේගන් ජනාධිපතිවරයා බරපතල තුවාල ලැබුවේය.
එදා 1981 දී රේගන් ජනාධිපතිවරයා හෝටලයෙන් පිටතට පැමිණෙද්දී ප්‍රහාරයට ලක්වූ අතර, මෙවර ට්‍රම්ප් ඉලක්ක කරගත් සැකකරු ආරක්ෂක පරීක්ෂණ කලාපය අසලදීම මෙල්ල කර ගනිමින් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 1981 සිද්ධියේ දී ජෝන් හින්ක්ලි වෙඩි හයක් එල්ල කරමින් ජනාධිපතිවරයාට අමතරව තවත් තිදෙනෙකුට තුවාල සිදු කළේය.